ගීතාවලිය 120

පෙර මීළඟ
1මාගේ විපතේ දී මම සමිඳුන්ට මොරගැසීමි. එතුමාණෝ මට උත්තර දුන් සේක. 2සමිඳුනි, බොරුකාර තොල්වලින් ද වංචාකාර දිවෙන් ද මා ගැළෙවුව මැනව. 3එම්බා වංචාකාරයෙනි! දෙවිඳුන් ඔබට කුමක් කළ යුතු ද? කුමන දඬුවමක් දිය යුතු ද? 4දිළෙන ගිනි අඟුරු ද හේවායාගේ තියුණු ඊගස් ද ඔබ පිට පැමිණේ වා! 5මෙෂෙක්හි විදේශී ව සිටීම ද කේදාර්හි කූඩාරම් මැද වාසය කිරීම ද මට දුකක් ය. 6සාමයට ද්වේෂ කරන්නා සමඟ මම බොහෝ කල් වාසය කෙළෙමි. 7මම සාමය සොයන්නෙමි; එහෙත්, ඒ ගැන කතා කරන විට ඔව්හු සටනට සැරසෙති.