ගීතාවලිය 12

පෙර මීළඟ
1සමිඳුනි, පිහිට වුණ මැනව. සැදැහැවතුන් ඉතිරි ව නැත. විශ්වාසවන්තකම ලොවින් තුරන් වී ඇත. 2මිනිසා මිනිසාට බොරු පවසයි; චාටු බසින් දෙසිත් ඇති ව කතා කරයි. 3සමිඳුනි, ඔවුන්ගේ චාටු බස් නවත්වන්න; පුරසාරම් නැති කරන්න. 4ඔව්හු මෙසේ උදන් අනති: ”අප රිසි දෙය අපි කියමු; කුමට ද අප නිහඬ වන්නේ? කවුරු ද එය නවතන්නේ?” 5අප සමිඳාණෝ මෙසේ වදාරති: ”පිහිටක් නැති දිළිඳා තළාපෙළා දමන නිසා, ඒ දුක මට ඇසෙන නිසා, මම දැන් එහි වැඩම කරමි; ඔවුන් පතන රැකවරණය සලසා දෙමි.” 6කෝවෙහි සත්වරක් දමා උණු කරන ලද රිදී මෙන් සමිඳුන් බස් සුපිරිසිදු ය. 7සමිඳුනි, අප රැකගත මැනව; කුදිටු අනාචාරික පරපුරකින් අප නිරතුරු රැකගත මැනව. 8පවිටු දනෝ ඔබමොබ යති. රට සැම දෙස දුසිරිත වැජඹෙයි.