ගීතාවලිය 76

පෙර මීළඟ
1දෙවිඳාණෝ ජුදාහි ප්‍රකාශ වූ සේක. ඉශ්රායෙල්වරුන් අතර එතුමන්ගේ නාමය ශ්‍රේෂ්ඨ ය. 2එතුමන්ගේ මණ්ඩපය ජෙරුසලමෙහි වූයේ ය. එතුමන්ගේ නිවාසය සියොන් කන්දෙහි වූයේ ය. 3එහි දී එතුමාණෝ සතුරන්ගේ ඊ සැරය බිඳ දැමූ සේක. ඔවුන්ගේ කඩුවට, පලිහට හා යුද අවියට එලෙස ම කළ සේක. 4අහෝ දෙවිඳුනි! ඔබ කොපමණ මහිමාන්විත ද? සදා පවතින කඳු වැටියට වඩා කොපමණ තේජාන්විත ද? 5ඔවුන්ගේ එඩිතර සෙබළුන් සතු දේ කොල්ලකනු ලැබී ය. දැන් ඒ වීරයෝ අවසාන නින්දට වැටී ඇත්තෝ ය. ඔවුන්ගේ බල විකුම් නිෂ්ඵල වී ඇත්තේ ය. 6ජාකොබ්ගේ පරපුරේ දෙවිඳුනි, ඔවුන්ට ඔබ තර්ජනය කළ සේක. අශ්වයෝ හා අසරුවෝ මැරී වැටුණෝ ය. 7සමිඳුනි, සියලු දෙන ඔබට ගරුබිය පෑ යුතු ය. ඔබේ දැවෙන උදහසට මූණ දීමට කවරෙක් සමත් වන්නේ ද? 8ඔබ සුරපුර සිට තීන්දුව දීමට සැලැසූ සේක. ලොව තැති ගෙන නිහඬ වූයේ ය. 9දෙවිඳුනි, ඔබ වහන්සේ විනිශ්චය සඳහා නැඟිටින සේක; මිහි පිට පීඩිත වූවන් ගළවනු පිණිස වඩින සේක. 10මිනිසාගේ උදහසින් පවා ඔබේ මහිමය වැඩි වන්නේ ය. ඒ උදහසින් මිදෙන අය ඔබේ මංගල්‍යය පවත්වන්නෝ ය. 11ඔබේ දෙවි සමිඳුන් හට බාරහාර වී ඒවා ඉටු කරන්න. එතුමන් වටා සිටින්නෝ ගරුබිය පෑ යුතු තැනැන් වහන්සේට පඬුරු ගෙනෙත් වා! 12එතුමාණෝ රජ දරුවන් මඬින සේක. ශ්‍රේෂ්ඨ භූපතීන් තුළ බිය ඇති කරවන සේක.