ගීතාවලිය 141

පෙර මීළඟ
1සමිඳුනි, මම ඔබෙන් අයැදින්නෙමි. මා ළඟට විගසින් වැඩිය මැනව. ඔබෙන් අයැදින කල මට සවන් දුන මැනව. 2මාගේ අයැදුම ඔබ ඉදිරියෙහි සුවඳ දුම් මෙන් ද මාගේ දෑත එසවීම සන්ධ්‍යා පූජාව මෙන් ද පිළිගනු මැනව. 3සමිඳුනි, මාගේ කට රැක ගැන්මට පිහිට වුණ මැනව. මාගේ දෙතොල රක්ෂා කළ මැනව. 4මා හද නපුරට ඇදී යාමට ද දුෂ්ට ක්‍රියාවලට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව. දුෂ්ටයන්ගේ මංගල බොදුනට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව. 5සුදනෙකු මට දඬුවම් දී තරවටු කළත් එය කාරුණික ක්‍රියාවකි. එහෙත්, දුදනන් දෙන ගරු සම්මාන මම ප්‍රිය නොකරමි. මන්ද, මාගේ අයැදුම නිතර ම ඔවුන්ගේ දුෂ්ටකමට විරුද්ධ ව බැවිනි. 6ඔවුන්ගේ විනිශ්චයකාරයන් ප්‍රපාතවලින් හෙළනු ලැබූ කල මාගේ වචන සැබෑ බව සෙනඟ පිළිගනු ඇත. 7ලී කොට කැබලිකර දමන්නාක් මෙන් ඔවුන්ගේ ඇටකටු මිනී වළේ කට ළඟ විසිරී තිබේ. 8එසේ ය, මහෝත්තම දෙවි ස්වාමීනි, මාගේ ඇස් ඔබ දෙස යොමු වී තිබේ. මාගේ විශ්වාසය ඔබ කෙරෙහි තබමි. මා අනාථ වන්නට ඉඩ නුදුන මැනව. 9ඔවුන් මට තැබූ මලපතින් ද අයුතුකම් කරන්නන්ගේ උගුල්වලින් ද මා ආරක්ෂා කළ මැනව. 10මා ගැළවී යන අතර, දුදනෝ තමන්ගේ ම දැල්වලට අසු වෙත් වා!