ගීතාවලිය 51

පෙර මීළඟ
1දෙවිඳුනි, ඔබේ දයා කරුණාවෙන් මට අනුකම්පා කළ මැනව; ඔබේ විපුල දයාවෙන් මාගේ අපරාධ මකාදැමුව මැනව. 2මාගේ කෙලෙස් මලින් මා මුළුමනින් සෝදාලුව මැනව; මාගේ පාප මලින් මා පිවිතුරු කළ මැනව. 3මාගේ අපරාධ මම මැනැවින් දනිමි. දිවා රෑ දෙක්හි මාගේ පාප මට සිහි වේ. 4ඔබට විරුද්ධ ව, ඔබට පමණක් විරුද්ධ ව මම පව් කෙළෙමි; ඔබ හමුවෙහි මම නපුර කෙළෙමි. එබැවින් ඔබේ තීන්දුව සාධාරණ ය; ඔබේ විනිශ්චය යුක්ති සහගත ය. 5පවට නැම්ම ඇතිව යි, මා මෙලොව උපන්නේ; කෙලෙස් මලින් යුතුව යි, මා මව් කුසේ පිළිසිඳුණේ. 6සත්‍යයට හා අවංක බවට ඔබ ප්‍රිය කරන සේක. එබැවින් සැබෑ ප්‍රඥාව මට ඉගැන්නුව මැනව. 7ආසිරි පැන් මට ඉසිනු මැනව; එවිට මම පිවිතුරු වන්නෙමි. මා ධෝවනය කළ මැනව; එවිට මම හිමට වඩා සුදු වන්නෙමි. 8මා සිතට සතුට හා සොම්නස දුන මැනව; ඔබ තැළූ පෙළූ මා කයට යළි සුව සෙත දුන මැනව. 9මාගේ පවින් ඔබේ බැල්ම හරවා ගත මැනව; මාගේ සියලු අපරාධ මකා හැරිය මැනව. 10දෙවිඳුනි, මා තුළ නිර්මල සිතක් මවා වදාළ මැනව; තිරසර නව ආධ්‍යාත්මයක් මට දුන මැනව. 11ඔබ හමුයෙන් මා පලවා නොහැරිය මැනව; ඔබේ ශුද්ධාත්මය මා කෙරෙන් ඉවත් නොකළ මැනව. 12විමුක්තියේ ප්‍රීතිය මට යළි දුන මැනව; අවනත සිතක් දී මා දැරුව මැනව. 13එවිට මම අපරාධකරුවන්ට ඔබ මඟ පහදා දෙන්නෙමි; පව්කරුවන් ඔබ වෙත හරවාගෙන එන්නෙමි. 14දෙවිඳුනි, මා ගැළවුම්කාර දෙවිඳුනි, මිනී මැරීමේ අපරාධයෙන් මා මුදාලුව මැනව. එවිට ඔබේ දැහැමි ක්‍රියා ගැන මම උස් හඬින් ගීත ගයන්නෙමි. 15සමිඳුනි, ගී ගැයුමේ වරම මට දුන මැනව. එවිට මා මුවින් ඔබ පැසසුම් ගයන්නෙමි. 16ඔබ පුද පඬුරුවලට රිසි නැත; ඔබ ඒවාට රිසි නම්, මම ඒවා ඔබට පුදන්නෙමි. දවන යාග පූජාවලට ද ඔබ රිසි නොවන සේක. 17දෙවිඳුන් ප්‍රිය පඬුර නම්, බිඳුණු හදවතකි. දෙවිඳුනි, ඔබ තැළුණුබිඳුණු සිතක් ඉවත නොදමන සේක. 18සියොන් ගිරට ඔබ කරුණාව පා සෙත සැලසුව මැනව; ජෙරුසලමේ කොටු පවුරු යළි ඉදි කළ මැනව. 19එකල, දවන යාග පූජා වන නියමිත පඬුරුවලට ඔබ ප්‍රිය වන සේක. එවිට ඔබේ පුදසුන මත ඔව්හු ගව පූජා පුදන්නෝ ය.