ගීතාවලිය 50

පෙර මීළඟ
1සව් බලැති දෙවි සමිඳාණෝ ශ්‍රී මුඛය විවෘත කර පෙරදිග පටන් අපර දිග දක්වා මුළු ලොවට කතා කරන සේක. 2අලංකාරයෙන් අගතැන් පත් සියොන්හි සිට, දෙවිඳාණෝ වැජඹෙන සේක. 3අපේ දෙවිඳාණෝ වඩින සේක; නිහඬ ව නොසිටින සේක. එතුමන් අබිමුව විනාශකාරී ගින්නක් ඇත; එතුමන් සිසාරා චණ්ඩ මාරුතයක් හමයි. 4සිය සෙනඟ හට නඩු තීන්දුව දෙන විට ඉහළ අහසටත්, පහළ පොළොවටත් සාක්ෂිකරුවන් වීමට එතුමාණෝ හඬ ගසන සේක. 5පුද පූජා ඇති ව මා සමඟ ගිවිසුමක් කළ මාගේ සැදැහැවතුන් මා වෙත රැස් කරන්නැ”යි එතුමාණෝ වදාළ සේක. 6දෙවිඳාණන් දැහැමි බව ද දෙවිඳාණන් විනිසකරුවන් බව ද අහස් මඬල ලොවට දන්වයි. 7එම්බා මාගේ සෙනඟෙනි, සවන් දෙන්න. මම මෙය වදාරන්නෙමි. එම්බා ඉශ්රායෙල් ජනයෙනි, නුඹලාට විරුද්ධ ව මම සාක්ෂි දෙමි. මම දෙවිඳාණෝ ය; නුඹලාගේ දෙවිඳාණෝ ය.” 8නුඹලාගේ පූජා ගැන වත්, නිරතුරු මා වෙත ගෙනෙන දවන යාග පූජාවන් ගැන වත් මම දොස් නොපවරමි. 9එහෙත්, නුඹේ පට්ටිවලින් ගොනුන් වත්, නුඹේ ගාල්වලින් එළුවන් වත් මට වුවමනා නැත. 10වනයේ වසන සියලු සත්තු මාගේ ය; දහසක් කඳුවල වසන ගවයෝත් මාගේ ය; 11අහසේ සියලු කුරුල්ලෝ මාගේ ය; කෙත්වතුවල සියලු සත්තු මාගේ ය. 12මට කුසගිනි නම්, නුඹට දන්වන්නට වුවමනාවක් නැත; ලොවත්, එහි ඇති සියලු දේත් මා සතු නොවේ ද? 13ගවමස් බුදීමට හෝ එළු ලේ පානය කිරීමට හෝ මට වුවමනාවක් ඇද් ද? 14දෙවියන්ට තුති දීම නුඹේ යාගය වේවා. සව් බලැති දෙවිඳුන්ට නුඹේ භාර ඉටු කරන්න. 15විපත්තියේ දී මට යාච්ඤා කරන්න; මම නුඹ මුදන්නෙමි. නුඹ මට ගෞරව කරනු ඇත.” 16එහෙත්, දුදනා හට දෙවි තුමාණෝ මෙසේ වදාරන සේක: ”නුඹ මාගේ ආඥා කටපාඩමින් කියන්නේත්, මාගේ ගිවිසුම ගැන කතා කරන්නේත් කුමකට ද? 17මන්ද, නුඹ මාගේ අවවාදය නුරුස්සන්නෙහි ය; මාගේ වචනවලට පිටුපා යන්නෙහි ය. 18නුඹ සොරෙකු දුටු විට ඔහුගේ මිතුරා වන්නෙහි ය; කාමමිථ්‍යාචාරීන් ඇසුරු කරන්නෙහි ය. 19නුඹේ කට නපුරට පාවා දී ඇත; නුඹ කට ඇරියොත් කියන්නේ බොරු ම ය. 20එක් කුසේ උපන් නුඹේ සොහොයුරන්ට විරුද්ධ ව කතා කිරීමට ද ඔවුන්ට දොස් පැවරීමට ද නුඹ සූදානම් ය. 21මේ සියල්ල නුඹ කෙළෙහි ය; මම කිසිවක් නොකීවෙමි. ඒ නිසා ‘මාත් නුඹ වාගේ ම ය’යි නුඹ සිතුවෙහි ය. එහෙත්, දැන් මම නුඹට දොස් පවරන්නෙමි; නුඹට කරුණු පහදා දෙන්නෙමි. 22මට පිටුපා යන්නෙනි, මෙය කල්පනාවට ගන්න; නැතහොත්, මම නුඹලා වනසන්නෙමි. නුඹලා ගළවන්නට කිසිවෙකු නොසිටිනු ඇත. 23ස්තුති පූජා පුදන තැනැත්තේ මට ගෞරව කරයි; මට කීකරු වන හැම දෙන ම මම සැබැවින් ගළවාගන්නෙමි.”