ගීතාවලිය 142

පෙර මීළඟ
1මම හඬ නඟා සමිඳුන්ට මොරගසමි. මම ශබ්ද නඟා සමිඳුන්ට කන්නලව් කරමි; 2මාගේ දුක් ගැනවිලි එතුමන් ඉදිරියෙහි තබමි. එතුමන් ඉදිරියෙහි මාගේ දුක් කරදර කියා සිටිමි. 3මාගේ සිත මා තුළ මලානික වූ කල මා යන මඟ ඔබ දන්න සේක. මා යන මඟෙහි ඔව්හු මට මලපතක් තැබුවෝ ය. 4මම ඇස් යොමා දකුණු දෙස බැලුවෙමි. මා ළඟ මිතුරෙකු නැති බව මට පෙනිණි. මා ආරක්ෂා කරන්න කිසිවෙක් නැත. කිසිවෙක් මා ගැන සලකන්නේ නැත. 5සමිඳුනි, මම ඔබට මොරගැසීමි: ඔබ මාගේ රක්ෂා ස්ථානය වන සේක. මේ ජීවිතේ දී මාගේ උරුමය ඔබ පමණක් ය. 6මාගේ මොරගැසීමට කන් දුන මැනව. මම දුක් සයුරේ කිඳා ගොස් සිටිමි. මට පීඩා කරන්නන්ගෙන් මා ගැළෙවුව මැනව. මන්ද, ඔව්හු මට වඩා බලවත් ය. 7දුක් නමැති දඟ ගෙයින් මා මිදුව මැනව. ඔබ මට යහපත කළ නිසා මම ඔබේ සැදැහැවතුන්ගේ සභාවෙහි ඔබට තුති පුදන්නෙමි.