ගීතාවලිය 99

පෙර මීළඟ
1සමිඳාණෝ රජකම් කරන සේක. විජාතීහු බියෙන් කැළෙඹන්නෝ ය. එතුමාණෝ කෙරුබ්වරුන්ට ඉහළින් සිහසුන් අරා වැඩ සිටින සේක. මිහිතලය කම්පා වන්නේ ය. 2සමිඳාණෝ සියොන් කන්දෙහි උතුම් වන සේක; සියලු ජාතීන්ට ඉහළින් වැජඹෙන සේක. 3අති උතුම් තෙද බලැති එතුමන්ගේ නාමය සියල්ලෝ පසසන්නෝ ය. එතුමාණෝ සුවිශුද්ධ වන සේක. 4අති බලසම්පන්න රජාණන් වහන්ස, ඔබ යුක්තියට ප්‍රේම කරන සේක, ඔබ ඉශ්රායෙල්හි සාධාරණකම පිහිටෙවු සේක; ඔබ දැහැමිකම සහ යුක්තිය ඉටු කළ සේක. 5අපේ දෙවි සමිඳුන් උසස් කොට පසසන්න; එතුමන්ගේ පාපුටුව ළඟ වැඳ වැටෙන්න; එතුමාණෝ සුවිශුද්ධ වන සේක. 6එතුමන්ගේ පූජකවරුන් අතර මෝසෙස් ද ආරොන් ද වූ හ. එතුමන්ගේ නාමය අයැදි අය අතර සාමුවෙල් ද විය. ඔවුන් සමිඳුන් අයැදි විට එතුමාණෝ පිළිතුරු දුන් සේක. 7වලා ටැඹෙන් එතුමාණෝ ඔවුන්ට කතා කළ සේක. එතුමන් ඔවුන්ට දුන් අණපණත් ද නීති ද ඔව්හු ඉටු කළෝ ය. 8අපේ දෙවි සමිඳුනි, ඔබ ම ඔවුන්ට පිළිතුරු දෙන සේක. ඔබ ඔවුන්ට දැඩි ලෙස දඬුවම් දුන් නමුත්, කමා කරන දෙවිඳුන් ඔබ බව ඔවුන්ට පෙන්වූ සේක. 9අපේ දෙවි සමිඳුන් පසසන්න, එතුමන්ගේ ශුද්ධ කන්ද ළඟ වැඳ වැටෙන්න. අපේ දෙවි සමිඳාණෝ සුවිශුද්ධ ය.