ගීතාවලිය 112

පෙර මීළඟ
1සමිඳුන් පසසන්න, සමිඳුන් වෙත ගරුබිය ඇති ව සිටින්නා ද එතුමන්ගේ ආඥාවලට බොහෝ සේ ප්‍රිය වන්නා ද භාග්‍යවන්ත ය. 2ඔහුගේ පරපුර දේශයෙහි බලවත් වන්නේ ය. දැහැමි පරපුර ආසිරි ලබන්නේ ය. 3සම්පත ද වස්තුව ද ඔහුගේ නිවෙසෙහි ඇත්තේ ය. ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේ ය. 4සුදනාට අඳුරෙහි එළියක් උදා වන්නේ ය; ඔහු දයාවන්ත ය; සානුකම්පිත ය; දැහැමි ය. 5දානශීලී ව ණයට දෙන මිනිසාට සුබ සෙත වේ; ඔහු සිය කටයුතු අවංක ලෙස කරන්නේ ය. 6මන්ද, දැහැමියා කිසි කලෙකත් නොපැකිළෙන්නේ ය. ඔහු සදහට ම සිහිකරනු ලබන්නේ ය. 7ඔහු නරක ආරංචිවලට බිය නොවන්නේ ය. ඔහුගේ ඇදහිල්ල ස්ථිර ය. ඔහු සමිඳුන් විශ්වාස කරන්නේ ය. 8ඔහුගේ සිත සවිමත් ය; ඔහු බිය නොවන්නේ ය. සිය සතුරන්ගේ පරාජය දක්නට ලැබෙන බව ඔහුට ඒකාන්ත ය. 9ඔහු දිළිඳුන්ට නොමසුරු ව දෙන්නේ ය; ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේ ය; ඔහු ගරු සම්මාන ලබා බලවත් වන්නේ ය. 10දුෂ්ටයා ඒ දැන කෝප වන්නේ ය; ඔහු දත්මිටි කා වැහැරී යන්නේ ය; දුදනන්ගේ බලාපොරොත්තු සුන් වී යන්නේ ය.