ගීතාවලිය 67

පෙර මීළඟ
1දෙවිඳාණෝ අප වෙත දයාව පෙන්වමින් අපට ආශීර්වාද කරන සේක් වා! ස්වකීය මුහුණ අප කෙරෙහි බබළවන සේක් වා! 2එවිට මුළු ලොව ඔබේ කැමැත්ත දැනගන්නේ ය; සියලු විජාතීහු ඔබේ ගැළවීමේ බලය දැනගන්නෝ ය. 3අහෝ දෙවිඳුනි, ජනතාවෝ ඔබ පසසත් වා! සියලු ජාතීහු ඔබ පසසත් වා! 4ඔබ සාධාරණ ලෙස මිනිසුන් විනිශ්චය කරන සේක; මිහි පිට සියලු විජාතීන් හට ඔබ මඟපෙන්වන සේක; එබැවින් සකල ජනයා ප්‍රීතිමත් ව සතුටින් ගී ගයත් වා! 5අහෝ දෙවිඳුනි, ජනතාවෝ ඔබ පසසත් වා! සියලු ජාතීහු ඔබ පසසත් වා! 6පොළොව පලදාව බහුල ව නිපදවිය; දෙවිඳාණෝ, අපේ දෙවිඳාණෝ, අපට ආසිරි දුන් සේක. 7අපේ දෙවිඳාණෝ අපට ආසිරි වස්වන සේක් වා! පොළො‍් වැසි සියල්ලෝ එතුමන්ට ගරු කරත් වා!