ගීතාවලිය 62

පෙර මීළඟ
1මාගේ සිතට සහනය ඇත්තේ දෙවිඳුන් තුළ පමණකි; මට ගැළවීම ලැබෙන්නේ එතුමාණන්ගෙන් පමණකි. 2මාගේ පර්වතයත්, ගැළවීමත්, බලකොටුවත් එතුමාණෝ පමණකි; එබැවින් මම නොසැලී සිටින්නෙමි. 3මම ඇල වුණ බිත්තියක් ද සෙලවෙන තාප්පයක් ද වැනි මිනිසෙක් වෙමි; ඔබ කොපමණ කල් මට තාඩන පීඩන කරන්නහු ද? 4උසස්කමෙන් ඔහු නෙරපාදැමීමට ඔව්හු උපා යොදති; බොරු කීමට ප්‍රිය වෙති; මුවින් ආසිරි පතන නමුත්, සිතින් සාප කරති. 5මාගේ සිතට සහනය ඇත්තේ දෙවිඳුන් තුළ පමණකි; මට ගැළවීම ලැබෙන්නේ එතුමාණන්ගෙන් පමණකි. 6මාගේ පර්වතයත්, ගැළවීමත්, බලකොටුවත් එතුමාණෝ පමණකි; එබැවින් මම නොසැලී සිටින්නෙමි. 7මාගේ ගැළවීමත්, මාගේ මහිමයත් දෙවිඳුන්ගෙන් ය; මාගේ ශක්තිය රඳා ඇති පර්වතයත්, සරණත් එතුමාණෝ ය. 8ජනයෙනි, දෙවිඳාණන් තුළ සැමදා විශ්වාසය තබන්න; එතුමාණෝ අප සරණය වන සේක. එතුමාණන් අබිමුව ඔබේ දුක්ගැනවිලි පවසන්න. 9පහළ පෙළේ අය සුළං රොදකි; ඉහළ පෙළේ අය මායාවකි; කිරා බලන විට දෙපක්ෂය ම සැහැල්ලු ය. සුළං රොදකටත් වඩා සැහැල්ලු ය. 10බලහත්කාරකම කෙරෙහි විශ්වාසය නොතබන්න; කොල්ලකාගත් දේ ගැන සිත යොමු නොකරන්න; වස්තුව වැඩි වුණත් ඊට ඇලුම් නොවන්න. 11දෙවිඳුන් මෙසේ පැවසූ බව මා බොහෝ වර අසා ඇත. එනම්, ‘බලය දෙවිඳුන් සතු ය; 12සමිඳුනි, තිර පෙම ඔබ සතු ය. මන්ද, මිනිසා කළ කළ දේ අනුව ඔබ විපාක දෙන සේක’ යනු යි.