ගීතාවලිය 118

පෙර මීළඟ
1සමිඳුන්ට ස්තුති කරන්න. මන්ද, එතුමාණෝ යහපත් ය. එතුමන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය. 2එතුමන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි ඉශ්රායෙල් දැන් කියත් වා! 3එතුමන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි ආරොන්ගේ වංශය දැන් කියත් වා! 4සමිඳුන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි එතුමන් කෙරෙහි ගරුබිය ඇත්තෝ දැන් කියත් වා! 5මාගේ විපතේ දී සමිඳුන්ට යාච්ඤා කෙළෙමි. සමිඳාණෝ මට පිළිතුරු දෙමින් මා නිදහස් කළ සේක. 6සමිඳුන් මාගේ පැත්තට සිටින බැවින් මම බිය නොවන්නෙමි. මට හානි කිරීමට කිසිවෙකුට හැකි ද? 7සමිඳාණෝ මාගේ පැත්තෙහි ය; මාගේ උපකාරකයාණෝ ය. එබැවින්, වෛර කරන්නන්ගේ පරාජය මම දකින්නෙමි. 8මිනිසා කෙරෙහි විශ්වාසය තැබීමට වඩා සමිඳුන් කෙරෙහි විශ්වාසය තැබීම යහපත. 9අධිපතීන් කෙරෙහි විශ්වාසය තැබීමට වඩා සමිඳුන් කෙරෙහි විශ්වාසය තැබීම යහපත. 10බොහෝ සතුරෝ මා වට කරගත්හ. සමිඳුන්ගේ බලයෙන් මම ඔවුන් විනාශ කෙළෙමි. 11ඔව්හු මා වට කරගත්හ; එසේ ය, මා වට කරගත්හ. සමිඳුන්ගේ බලයෙන් මම ඔවුන් විනාශ කෙළෙමි. 12ඔව්හු මී මැස්සන් මෙන් මා වට කරගත්හ; ගිනිගත් කටු පඳුරක් මෙන් ඔව්හු ඇවිළී ගියහ. සමිඳුන්ගේ බලයෙන් මම ඔවුන් විනාශ කෙළෙමි. 13වැටෙන පිණිස මම තදින් තල්ලු කරන ලදිමි; එහෙත්, සමිඳාණෝ මට පිහිට වූ සේක. 14සමිඳාණෝ මාගේ සවිය ද ගීය ද වෙති; එතුමාණෝ මාගේ ගැළවුම්කාරයාණෝ ය. 15ප්‍රීතිවීමේ හා ගැළවීමේ හඬට සවන් දෙන්න. දමිටුන්ගේ කූඩාරම්වල ජය නාදය ඇසේ. සමිඳුන්ගේ බාහු බලය විකුම් දක්වයි. 16සමිඳුන්ගේ බාහු බලය උදාර ය. සමිඳුන්ගේ බාහු බලය විකුම් දක්වයි. 17මම නොනැසී, ජීවත් ව සිටින්නෙමි; සමිඳුන්ගේ ක්‍රියා ප්‍රකාශ කරන්නෙමි. 18සමිඳාණෝ දැඩි ලෙස මට දඬුවම් දුන් සේක. එහෙත්, මරුවාට මා පාවා නුදුන් සේක. 19දමිටුකමේ දොරටු මට හැර දෙන්න; එවිට, එයින් මම ඇතුල් වී සමිඳුන්ට ස්තුති කරන්නෙමි. 20මෙන්න, සමිඳුන්ගේ දොරටුව! දැහැමියෝ එයින් ඇතුල් වන්නෝ ය. 21මම ඔබට ස්තුති කරන්නෙමි, මන්ද, ඔබ මට පිළිතුරු දී මාගේ ගැළවීම වූ සේක. 22ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම මුල් ගල වී ඇත. 23මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි; එය අපේ දෙනෙතට අසිරිමත් ය. 24මෙන්න, සමිඳුන්ගේ ජය මංගල දිනය! මෙදින අපි ප්‍රීති වමු; සන්තෝෂ වමු. 25සමිඳුනි, දැන් අප ගැළෙවුව මැනව. සමිඳුනි, දැන් අපට ජය අත්කර දුන මැනව. 26සමිඳුන්ගේ නාමයෙන් වඩින තැනැත්තේ ආසිරි ලද්දෙකි. සමිඳුන්ගේ මාලිගාවේ සිට අපි ඔබට ආසිරි පතමු. 27සමිඳාණෝ දෙවිඳාණෝ ය; එතුමාණෝ අපට එළිය දුන් සේක; අතු ගත් අත් ඇති ව පූජාසනය වටා පෙරහරින් ගමන් කරන්න. 28ඔබ මාගේ දෙවිඳාණෝ ය; මම ඔබට ස්තුති කරන්නෙමි. ඔබ මාගේ දෙවිඳාණෝ ය; මම ඔබට උස් හඬින් පැසසුම් ගී ගයන්නෙමි. 29සමිඳුන්ට ස්තුති කරන්න; මන්ද, එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ තිර පෙම සදා පවත්නේ ය.