ගීතාවලිය 28

පෙර මීළඟ
1සමිඳුනි, ඔබට හඬගසමි, මාගේ පර්වත රාජයාණෙනි, මට සවන් නො දී නොසිටිය මැනව. ඔබ නිහඬ වුවහොත්, මාත් පාතාලයට බැස යන්නවුන්ගෙන් කෙනෙකු වනු ඇත. 2මා ඔබට හඬ නඟන කල ද ඔබේ ශුද්ධස්ථානය දෙසට මාගේ දොහොත් මුදුන් තබන කල ද මාගේ යාදිනි හඬට කන් දුන මැනව. 3සිය අසල්වැසියන් සමඟ සාමදානයෙන් කතා කළත්, හිත යට නපුරු චේතනා ඇති දුෂ්ටයන් ද නොපණත්කම් කරන්නන් ද සමඟ මා පහ නොකළ මැනව. 4ඔවුන්ගේ ක්‍රියාවල හැටියට ද දුෂ්ට කල්ක්‍රියා අනුව ද ඔවුන්ට පල විපාක දුන මැනව; ඔවුන් කළ දේ අනුව ඔවුන්ට පල විපාක දුන මැනව. 5ඔවුන් සමිඳුන්ගේ ක්‍රියා හෝ එතුමන්ගේ නිර්මාණ හෝ නොසලකන බැවින්, එතුමාණෝ ඔවුන් සදහට ම සුණු විසුණු කරන සේක; යළි නොපිහිටුවන සේක. 6සමිඳුන් හට ප්‍රශංසා වේ වා! මන්ද, එතුමාණෝ මාගේ යාදිනි හඬට සවන් දුන් සේක. 7සමිඳාණෝ මාගේ ශක්තිය ය; මාගේ පලිහ ය. මම එතුමාණන් කෙරේ විශ්වාසය තැබීමි; මම පිහිට ලදිමි. එබැවින් මාගේ සිත අතිශයින් උදන් අනයි; මම එතුමන්ට හද පත්ලෙන් තුති ගී ගයන්නෙමි. 8සමිඳාණෝ සිය සෙනඟගේ ශක්තිය ය. එතුමාණෝ සිය රාජාභිෂේකය දුන් අයට විමුක්තියේ බලකොටුව වන සේක. 9ඔබේ සෙනඟ මුදා, ඔබේ ආවේණික සෙනඟට ආසිරි දුන මැනව; ඔවුන් පෝෂණය කොට සදහට ම රැකබලාගත මැනව.