ගීතාවලිය 97

පෙර මීළඟ
1සමිඳාණෝ රජකම් කරන සේක, මිහිතලය ප්‍රීති වේ වා! දිවයින් සියල්ල ප්‍රීති ප්‍රමෝද වේ වා! 2වලාකුළු සහ අඳුර එතුමන් වට කර සිටින්නේ ය. දැහැමිකම සහ යුක්තිය එතුමන්ගේ සිහසුනේ පදනම් ය. 3එතුමාණන් පෙරටුවෙන් ගින්නක් යන්නේ ය; එය එතුමන් සිසාරා සිටින සතුරන් දවාලන්නේ ය. 4එතුමන්ගේ විදුලිසැර කෙටීම ලෝකයට ආලෝකය දෙයි; පොළොව එය දැක කම්පා වෙයි. 5කඳු හෙල් සමිඳාණන් දැක ඉටි මෙන් උණු වන්නේ ය; මුළු මිහිතලය ද සමිඳුන් දැක එසේ වන්නේ ය. 6දෙව්ලොව එතුමන්ගේ සාධාරණකම ප්‍රකාශ කරන්නේ ය; සකල ජනතාවෝ එතුමන්ගේ මහිමය නරඹන්නෝ ය. 7රූප වඳින්නෝ ද පිළිම ගැන පාරට්ටු කරන්නෝ ද ලජ්ජා වෙත් වා! සියලු දෙවි දේවතාවෝ දෙවිඳුන්ට හිස නමත් වා! 8සියොන් කන්ද ඊට සවන් දී තුටින් ඉපිලේ වා! සමිඳුනි, ඔබේ දේව පරිපාලනය නිසා ජුදාහි නගර සතුටු වේ වා! 9සව් බලැති දෙවි සමිඳුනි, ඔබ මුළු පොළො‍් තලයට ශ්‍රේෂ්ඨ වන සේක; සියලු දෙවි දේවතාවන්ට වඩා ඔබ උතුම් වන සේක. 10සමිඳුනි, ඔබ නපුරට වෛර කරන්නන්ට ප්‍රේම කරන සේක; ඔබට ගැති වූවන්ගේ ජීවිත ඔබ ආරක්ෂා කරන සේක; දුෂ්ටයාගේ බලයෙන් ඔබ ඔවුන් මුදාලන සේක. 11දැහැමියන් මත එළිය බබළයි; යහපත් අය මත සතුට දිළිසෙයි. 12සැදැහැවතුනි, සමිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වෙත් වා! එතුමන්ගේ සුවිශුද්ධ භාවය සිහි කොට එතුමන්ට ප්‍රශංසා කරත් වා!