ගීතාවලිය 24

පෙර මීළඟ
1පොළොව හා එහි ඇති සෑම දෙය ද සකල ලෝ වාසීහු ද සමිඳුන් සන්තක වෙති. 2මුහුදු ජලය පිට පොළොව පිහිටුවා, සයුරු පත්ලෙහි එය ස්ථාපිත කෙළේ එතුමාණෝ ය. 3හිමි තුමන්ගේ කන්දට නඟින්නට ශුද්ධ කවුරු ද? එතුමන්ගේ ශුද්ධ දෙව් මැදුරෙහි නවතින්නට හැකි කාට ද? 4ක්‍රියාවෙන් පිරිසිදු, සිතින් නිර්මල, නිෂ්ඵල දෙයට වැඳුම්පිදුම් නොකරන, බොරුවට නොදිවුරන, තැනැත්තාට ය. 5එවැනි අයට සමිඳාණෝ ආසිරි දෙති; මිදුම්කාර දෙවිඳාණෝ මොක් සුව දෙති. 6දෙවිඳුන් සොයා යන්නෝ ද ජාකොබ්ගේ දෙවිඳුන්ගේ සරණ පතා යන්නෝ ද එවැනි අය ය. 7ද්වාරයෙනි, විවෘත ව සිටින්න; පැරණි දොරටුවෙනි, විවෘත ව ම සිටින්න; ප්‍රතාපවත් මහා නිරිඳාණෝ වඩින සේක. 8ඒ මහා ප්‍රතාපවත් නිරිඳාණෝ කවරෙක් ද? තෙද බල යුතු හිමි තුමාණෝ ය; යුද්ධ ජයගත් හිමි තුමාණෝ ය. 9වාසල් දොරටු හොඳට ම විවෘත කොට තබන්න; පැරණි දොරටු විවෘත කොට තබන්න. ප්‍රතාපවත් මහා නිරිඳාණෝ වඩින සේක. 10මේ ප්‍රතාපවත් මහා නිරිඳාණෝ කවරෙක් ද? ඒ ප්‍රතාපවත් මහා නිරිඳාණෝ, සව් බලැති හිමි තුමාණෝ වෙති.